හිමි වීමටත් පෙර අහිමි වූ ආදරයක්

.රාම් කියන්නෙ මුහුණ පුරා රැවුල වවාගත්ත, කලු හැඩිදැඩි, වයසට වඩා තලතුනා පෙනුමක් තියෙන, මැදිවියේ සිටින දක්ශ ඡායාරූප ශිල්පියෙක්. වරක් ඔහුට අහම්බෙන් ඔහු කුඩා කල අකුරුකල පාසල අසලින් ගමන් කිරීමට සිදු වෙනවා. ඒත් සාමාන්‍ය විදිහට එය පසු කිරීමට නම් සමත් වෙන්නෙ නෑ. ඔහු මෝටර් රථයෙන් බැස විත් පාසල පුරා සැරි සරමින් පාසල් දිවියේ සොදුරු මතකයන් අලුත් කර ගන්නවා. ඉතින් ඔහුත් ඇතුලුව ඔහුගෙ පාසලේ 96 කණ්ඩායමේ get together එකට පාර සකස් වෙන්නෙ එහෙම.

මේ 96 සුහද හමුවට රාම් සහභාගි වෙනව. පරණ යාලුවො එක්ක විනෝද වෙනව. ඒත් ඒ එක් දෙයක් සවණත වැකෙනකම් විතරයි. ඒ තමයි ” රාම්, ජානුත් එනව”. එය ඇසුනු සැනින් රාම්ගෙ ස්වභාවය වෙනස් වෙනව. ඔහු මේසයෙන් නැගිටල ඉවතට යනව. කල්පනා කරනව. තැති ගන්නව ඇත්තටම කවුද මේ ජානු? දැන් තමයි කතාව පටන් ගන්නෙ.

මීට අවුරුදු 22 කට කලින් රාම් , සුභා , මුරලි , සතිශ් සහ ජානු එකම පන්තියෙ හොදම යාලුවො . කුඩා කල සිටම හොදම මිතුරන් උනත් වයසින් වැඩෙද්දි රාම්ගෙ සිතේ ජානු කෙරෙහි ආදරයක් ඇති වෙනව. ජානු ඉතා හොදින් ගීත ගායනා කල හැකි, පාසලේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටි රූමත් යුවතියක්. ඉතින් මේ රූමත් බවත්, බුද්ධිමත් බවත් නිසාම ඇගෙන් ආදරය විමසීමට රාම් පසුබට වෙනව. තමන් වගේ සාමාන්‍ය කෙනෙක්ට ඇය කැමති වේවිද, ඒ නිසා ඔවුන්ගේ මිතුරුද අහිමි වේවිද ,ඔහු හිතින් විදවනව . ජානුත් ඔහුට පෙරළා ප්‍රේම කරන බව, සමහර විට ඔහුටත් වඩා වැඩියෙන් ඇය ඔහුට ප්‍රේම කරන බව රාම් කිසිදිනක වටහා ගන්නේ නෑ. ඇය රාම්ගේ ආදරය පැවසීමට ඔහුට අවස්තා ගණනාවක් උදා කර දුන්නත් ඔහු කිසිම අවස්තාවක ඒ ආදරය ප්‍රකාශ කිරීමට ඔහු සමත් වෙන්නෙ නෑ. ඉතින් කාලයක් ගෙවිලා පාසල් නිවාඩුව උදා වෙනවා. පාසලේ අවසාන දවසේ දෙදෙනා දෙපසට වෙන්වන්නේ මුවින් නොකීවත් හදවතේ ඇති ආලය දෙදෙනාම දන්නා නිසා එය සිතේ තබාගනිමින්.

නමුත් පාසල් නිවාඩුවෙන් පසුව රාම් නැවත පාසලට පැමිණෙන්නේ නෑ. ඔහු සිය පවුලත් සමග වෙනත් නගරයක පදිංචියට ගොස් ඇති බව ඇයට ආරංචි වෙනව . ජානුගේ ජීවිතේ සතුට ගිලිහෙන්නෙ එතනින්. ඇය සිනාව අමතක වූවෙකු ලෙස, ජීවත් වියයුතු නිසා ජීවත් වන අයෙකු ලෙස, කිසිදා සතුට නොලැබූ අයෙක් ලෙස ජීවත් වෙනවා. සෑම මොහොතකම ඇගේ එකම බලාපොරොත්තුව රාම් යළිත් ඇයව සොයාගෙන පැමිණෙනු ඇති බවයි. ඒත් කිසිම දිනක එය සිදුවන්නෙ නෑ. ඇයට යලිත් ඔහුව මුණගැහෙ 96 කණ්ඩායමේ get together එකේදි. ඇය ඊට සහභාගී වීම සදහාම සිංගප්පූරුවේ සිට පැමිණෙනවා. නමුත් ඊට රාම් පැමිණෙනු ඇතැයි නම් ඇය සිහිනෙකිදු සිතන්නේ නෑ.

නමුත් එක්වරම ඇගේ මිතුරියක් පැවසූ දෙයින් ඇයට සිය අසුනින් නැගිටවෙනව . ඒ මොහොතේ ඇගේ මුහුණේ මතුවන හැගීම් මෙතෙකැයි කීමට බැහැ. බොහෝකාලයක් පුරා සෙවූ දෙයක් සියලු බලාපොරොත්තු අථැරිය මොහොතක නැවත සිය දෙපාමුලට පැමිණි අයෙකුගේ බලාපොරොත්තු සහගත නමුත් ඒ සමගම බලාපොරොත්තු සුන් වූ හැගීමක් ඇගේ මුහුනේ දිස් වෙනවා.

ඇය රාම් සිටි දෙසට ඇවිද යන්නේ නිරායාසයෙන්. එහිදී හැඩි දැඩි රාම් වෙනුවට ඇය දකින්නේ අවුරුදු 22 කට පෙර පාසල් නිළ ඇදුමෙන් සැරසුනු කුඩා රාම්ව. එනම් රාම් තවමත් ගති ගුණ වලින් ඉස්සර සිටි බියගුලු පාසල් සිසුවාම බව අපට දනවනව.
“රාම් මාව මතකද, මං ජානු” ඇය ඔහුගෙන් විමසනවා. එයින් පසුව ඉතාමත් සාමාන්‍ය විදිහට, හරියට ගෙවුනු වසර 22 පුරාම ඔවුන් දැන හදුනාගෙන සිටි ලෙසට ඔවුන් කතා බහ කරනව. මොවුන් දෙපළ මීට පෙර මුණගැසී, කතාබහ කර ඇද්දැයි අනෙක් මිතුරන්ට සිතෙන තරමටම එය සාමාන්‍ය කතා බහක්. ඒ වන විට ජානු විවාහ වී කුඩා දියණියකුත් ඇයට සිටිනවා. ඇය දියණියගේ ඡායාරූපයක් සිය මිතුරන්ට පෙන්වන අතර තුර රාම්ගේ විවාහ ජීවිතය ගැන විමසනව. මෙතෙක් සාමාන්‍ය ලෙස සිදු වූ සෑමදෙයක්ම අසාමාන්‍ය බව ඇයට වැටහෙන්නෙ එතකොට. රාම් කිසිදිනක විවාහ වී නොමැති බව ඇය දැනගන්නව. නමුත් ඊට හේතුව රාම්වත්, අනෙක් මිතුරන්වත් ඇයට පවසන්නෙ නෑ. ඊට හේතුව තමාද? ඇය ඇගේ සිතෙන් ප්‍රශ්න කරනව. ඇය රාම්ගෙනුත් ඒ ගැන විමසනව. නමුත් ඔහු ඒ ගැන කෙලින් පිලිතුරක් ලබා දෙන්නෙ නෑ. රාම් විසින් ඇයව නැවතී සිටි හෝටලයට කැදවාගෙන යනව. ඒ ගමන අතරතුරත් ඇය රාම්ගේ අවිවාහක දිවියට හේතු ඇහුවත් ඔහු පිළිතුරු දෙන්නෙ නෑ. නැවතත් සිංගප්පූරුව බලා ඇය පිටත් වන ගුවන්‍ යානය පසුවදා පාන්දර ඇති බැවින් ඒ සදහා ඇයව කැදවාගෙන යාමට නැවත එන බව පවසමින් ඔහු සමුගන්නව. සිය කාමරයට ගියත් ඇයට ඔහුගේ මතකයෙන් මිදෙන්නට බැරි වෙනව. ඇය ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගන්නව.

” රාම් ඔයා ගොඩක් දුර ගිහින්ද ඉන්නෙ. හොටෙල් එකෙන් ගොඩක් ඈතද ”
ඇය ඉතා කලබලෙන් විමසනව.

” ජානු.. මං තාම ඔයා බැහැල ගිය තැනමයි”

ඔහු සංසුන්ව පිලිතුරු දෙනව. ඒ තුළින් ඔහු ඉතා ගැබුරු කතාවක් කියනව. අවුරුදු 22 කට පෙර ඇයව අහිමි වූ දා සිටම ඔහු නොවෙනස්ව සිටි බව එයින් අපට නොකියා කියනව.

ඇය හඩමින් හෝටල් කාමරයෙන් දිව යනව. ඔහු ඇය එන තෙක් බලා සිටිනවා. ඇය ඔහුව කැටුව යන්නෙ සැලෝන් එකකට. ඔහුගේ දැඩි අකමැත්ත මත උනත්, ඇයගේ පෙරැත්ත නිසාම මුහුණ පුරා වැවුනු රැවුල සහ කොන්ඩය කැපීමට එකගවීමට ඔහුට සිදු වෙනවා. මොන ස්ටයිල් එකටද කොන්ඩෙ කපන්න ඕන යැයි කරණවෑමියා විමසු විට ඇය මෙසේ කියනව. ” අවුරුදු 15ක ළමයෙක් වගේ… 96 හිටපු” එයින් පසුව රාම්ගෙ තිබූ තලතුනා පෙනුම ගිහින් නැවතත් ඉස්සර හිටිය පාසල් සිසුවාගෙ මුහුණුවර ඔහුට ලැබෙනව.

නැවත ඇයව හෝටලයට ඇරලවන අතරතුර ඇය ඔහුට මෙසේ පවසනව. ” මම හැමදාම ඔයා එනකල් බලන් හිටිය. කැම්පස් එකේදිත් කවදහරි ඔයා එයි කියල හිතුව. උස කලු කෙනෙක් පාරෙදි දැක්කත් ඒ ඔයාද කියල හැරිල බැලුව. මගේ වෙඩින් එකට ඔයා ඇවිත් හැමෝම බලන් ඉද්දි මාව එක්කරගෙන යයි කියල මම හිතුව. හරියට චිත්‍රපටයක වගේ. ඒත් කවදාවත් එහෙම උනේ නෑ….”

“මම ආව ජානු. ඔයාගෙ කැම්පස් එක ලගට මං ආවා”

ඔහුගේ මේ පිළිතුර ඇයව උමතු කරවනව. සැබැවින්ම ඔහු ඇය මුණගැසීමට පැමිණ තිබුනා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස එකිනෙකා මුණ ගැසීමට ඔවුන්ට අවස්තාවක් ලැබෙන්නෙ නෑ. රාම් ඇයව දුටුවත් ඇය ඔහුව දකින්නෙ නෑ. නමුත් රාම් සිතන්නේ ඇය ඔහුව දැක මගහැරිය බවයි. ඇය තමාට අකමැති බවක් ඔහු සිතනව. එයින් පසුව රාම් කිසිම දිනෙක ඇයට දිස්වන අයුරින් ඇය බැලීමට පැමිණෙන්නෙ නෑ. ඇයට නොපෙනෙන අයුරින් ඇයව දැකබලා ගන්නව. මෙය ඇසූ විට ජානුට තමාව පාලනය කර ගැනීමට නොහැකි වෙනවා.. අවුරුදු ගාණක් ඇය සිතින් ප්‍රාර්ථනා කල දෙය අවුරුදු ගණනාවකට පෙර ඒ අයුරින්ම සිදු වී තිබුනා. නමුත් ඇයට ඒ අවස්තාව මග හැරී තිබුනා.

ඇය ඉතා වේගයෙන් තමාගේ කාමරයට දිව යනව. ඇය ඇයට ගහ ගනිමින් හඩනව. එතෙන්ට පැමිණෙන රාම්ට ඇය මෙසේ පවසනව. “මං කවදාවත් ඔයාව දැක්කෙ නෑ රාම්. මං දැක්කෙ නෑ.” එදා තමා ඔහුව දුටුවානම් ජීවිතය කෙතරම් වෙනස් විය යුතුව තිබුනාදැයි ඇය සිතනව.

“මං හැමතිස්සෙම ඔයා ලග හිටියා. ඔයාට ඕන උනේ දෙමළ ඉගෙන ගන්න. ඒත් තාත්තට ඕන නිසා ඔයා computer science කරා. ඔයා ජීවිතේටම සාරි ඇන්දෙ දෙසැරයයි. එකක් ග්‍රැජුවේශන් එකට. ඒක තද නිල් පාට සාරියක්. අනික…. අනික තද දම් පාට සාරියක්.”

මේ වචන ඇගේ ජීවිතය වෙනස් කරනව. ඇය තද දම්පාට සාරියක් අදින්නෙ ඇගේ විවාහ මංගල්‍යයේදී. එනම් ඔහු ඇගේ විවාහයටත් පැමිණ තිබේ .
තමාගේ සෑම බලාපොරොත්තුවක්ම, සිහිනයක්ම සැබෑවන අවසාන රේඛාව දක්වා පැමිණ බිදී විසිරී ගොස් ඇති අයුරු ඇයට වැටහෙනව. ඔහු කිසිදිනක විවාහ නොවීමට හේතුව ඇයට වැටහෙනව. වසර 22 කට පෙර ඔවුන් වෙන්වූ තැනම ඔහු තවමත් නැවතී සිටියා. නමුත් ඇය ජීවිතේ නැවත් හැරිය නොහැකි ලෙස බොහෝ දුරක් ගොස් සිටියා.

රාම් ඇයව ඔහුගේ නිවසට කැදවාගෙන යනවා. ඔහුගේ නිදන කාමරයේ වසර 22 කට පෙර ගත් ඔවුන්ගේ 96 කණ්ඩායමේ විශාල කල ඡායාරූපයක් එල්ලා තිබෙනව.ඔහු ඇයට ඔහුගේ පරණ මතක තැම්පත් කර ඇති සූට්කේසයක් පෙන්වනව. ඔහු ජානුට ලියූ, නමුත් කිසිදිනෙක ඇයට නොදුන් කවි, ඇගේ වරලසින් ගිලිහුනු මල්, ඇයගේ සාලුවක් ආදී නොයෙක් මතකයන්ගෙන් එය පිරී තිබෙනව. වසර 22ක් පුරා ඔහුගේ හදවතේ රැදි ප්‍රේමය තවමත් එලෙසින්ම ජීවමානව රැදී ඇති බව ඇය තේරුම් ගන්නව. නමුත් කාලය ආපසු හරවන්නට බැහැ. තවත් පැය කීපයකින් ඇය නැවත් සිය පවුල වෙත යායුතුයි.

ඉතින් ඔහු ඇයව ගුවන් තොටුපළට රැගෙන යනව. ඉතාමත් වේදනාබර සමුගැනීමකින් පසු ඇය යන්නට යනව. නැවත කිසිදා නොඑන්නට. ඇගේ සදාකාලික ප්‍රේමයෙන් වෙන්වී සිය වගකීම්, යුතුකම් ඉටුකරලන්නට ඇය ඔහුට සමුදෙනව. රාම් නැවතත් තනි වෙනව. ගෙවුනු වසර 22 ම බලා සිටියා මෙන් ඉතිරි ජීවිත කාලයද ඔහු බලාසිටිනු ඇත.

මේ ලියන අවස්තාවේ මා සවන් දෙමින් සිටින ගීතය රාම්ගේ මෙන්ම ජානුගේ ජීවිතයටත් බෙහෙවින් සමීප බවක් මට හැගෙනව

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිදිනා
මග වනස් පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමින් සලනා

ඔබ සැමරුම් රැදි කවුලුව මානේ
කදුලක පැල්ලම් ඉරි ඇදුනා…
අලුත් මලින් පිරි වනෝ ජාලේ
සැදෑ බොල් හුළගේ
මට තනියක් දැනුනා ..

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිදිනා
ඔබ කවුලු පියන් හැර පාන්දරින්
කොහෙ ගියේද මට සිතුනා…

වැලපෙන මා හද කැටපත් පවුරේ
හන්ස ගීතය ලියවෙනවා
පළමු අරුණු ර්න් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුවදේ
ඔබ එතැයි සිතුනා

පිලි මලින් මලේ
රොන් සුණු විසිරී
හද පිපී සුසුම් නගනා
ඔබ කවුලු පියන් හැර පාන්දරින්
කොහෙ ගියේද මට සිතුනා…

ඉතින් මෙහි රාම් ලෙස විජේ සේතුපතිත්, ජානු ලෙස ට්‍රිශාත් රංගනයෙන් දායක වෙනව. බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටය ප්‍රේමම් අභිබවා ඇති බවක් ප්‍රකාශ කර තිබුනත් මට අනුව නම් ප්‍රේමම් මීට වඩා ඉස්සරින් ඉන්නව. ඒ වගේම රාම්ගේ චරිතයට සේතුපති උපරිම සාධාරණයක් ඉශ්ඨ කර තිබුනත් එය චරිතයක් ලෙස ගැනීමේදී ප්‍රේමම්හි ජෝර්ජ්ගේ චරිතය ඊට වඩා මා තුළ ආහ්ලාදජනක හැගීමක් ඇතිකරා යැයි මා සිතනව. (එය මගේ පෞද්ගලික මතයක් පමණයි)
රාම් යනු ඉතාමත් පරිත්‍යාගශිලී පෙම්වතෙක්. නමුත් ඒ නිසාම ඔහු අවස්තා රැසක් මගහැරගත්තා යැයි මා සිතනවා. ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනාගේම සතුට ඔවුන්ට අහිමි වෙනව.

ඉතින් ප්‍රේමය යනු පරිත්‍යාගයයි. ප්‍රේමය යනු මගහැරීමයි.
ප්‍රේමය යනු බලාසිටීමයි…
96 අපට කියාදෙන්නේ එයයි.

[ සටහන හා උපුටා ගැනීම විශ්මිතා රත්නායකගෙනි ]
#VishmithaRathnayake…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කාබනික භූමදාන මිනිස් සිරුර ගස් බවට හරවයි

Fri Jan 17 , 2020
අවමංගල්‍යයක් සම්බන්ධව කතා කරන විට, සෑම කෙනෙකුගේම පළමු සිතුවිලි ශෝකය, ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටි, සොහොන් ගල්, විශාල සොහොන් ආදිය බොහෝ දුරට මේවා මරණය හා අවමංගල්‍ය කටයුතු හා සම්බන්ධ සාමාන්‍ය දේවල් ය. කෙසේ වෙතත්, කැප්සුලා මුන්ඩි නම් සමාගමක් අද්විතීය සුසාන ක්‍රමයක් අත්හදා බලමින් මියගිය තැනැත්තා ගසක් බවට පත් කරයි.එම අදහස තරමක් […]