ලංකාව යුද අනතුරක

මැදපෙරදිග කේන්ද්‍ර කර ගනිමින් වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධව ගැටලු‍වකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. පසුගිය

09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව පවසා තිබේ.

පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් උණුසුම් වන ඉරාන – ඇමෙරිකානු යුද්ධයක් අභියස මෙම ලිපිය යොමු කර තිබීම විශේෂයකි.

ශ්‍රී ලංකාව ‘ඇක්සා’ (ACSA) හා ‘සෝෆා’ (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කරනු ලැබ ඇති බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලබන යුද කටයුතුවල දී ඇමෙරිකානු හමුදාවලට අවශ්‍ය කරන සේවාවන් ලබා දීමට, එනම් ශ්‍රී ලංකාවේ වරායන් ගුවන්තොටුපළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබා දීමට බැඳී සිටින බව එම ලිපියෙන් ඔහු අවධාරණය කර තිබේ.

මේ වන විටත් වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය තුළ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද මෙම යුද්ධයේ පාර්ශ්වකරුවකු කර ගැනීමට පැහැදිලි ඉඩක් ඇති බැවින්, එවැනි තත්ත්වයක් ඇති වීමට පෙරාතුව ම එය වැළැක්විය යුතු හෙයින්, වහාම මෙම ගිවිසුම් අහෝසි කරන ලෙස මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

බිමල් රත්නායක මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය වෙත යවනු ලද ලිපියෙහි මෙසේ ද සඳහන් වේ :

“ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව… දියත් කරනු ලැබ ඇති යුදමය තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව විශාල ගැටලු‍වකට මුහුණ දී ඇතැයි අපි සිතමු. මන්ද දැනටමත් ශ්‍රී ලංකාව ඇක්සා (ACSA) හා සෝෆා (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කරනු ලැබ ඇති බැවිනි. මෙම ඇක්සා ගිවිසුම මඟින් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් සිදු කරනු ලබන යුද කටයුතුවල දී ඇමෙරිකානු හමුදාවලට අවශ්‍ය කරන සේවාවන් ලබා දීමට එනම්, ශ්‍රී ලංකාවේ වරායවල්, ගුවන්තොටුපළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබා දීමට බැඳී සිටියි.

“විශේෂයෙන් සෝෆා ගිවිසුම මඟින් ඇමෙරිකානු හමුදාවලට පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමටත්, ආපසු යාමටත් ඔවුන්ගේ යුද ගුවන් යානා හා අනෙකුත් උපකරණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත්, එසේම ලංකාවේ පාලනයට යටත් නොවන ඔවුන්ටම ආවේණික සන්නිවේදන පද්ධතියක් පවත්වා ගැනීමටත් ආදී වශයෙන් යුද්ධයකට අවශ්‍ය කරන සියලු‍ කටයුතු සිදු කිරීමට ඉඩ ලැබේ.

“වර්තමානයේ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඉරානයේ විශේෂ හමුදා ප්‍රධානියකු ඝාතනය කිරීම මඟින් වන අතර, ඒ සඳහා ඇමෙරිකාව විසින් යොදා ගනු ලැබුවේ, 2014 වර්ෂයේ දී ඉරාක රජය සමඟ එක්සත් ජනපදය විසින් අත්සන් තබන ලද සෝෆා ගිවිසුම මඟින් ලබා දී ඇති බලතලයි. එනම්, එක්සත් ජනපද හමුදා ඉරාකය තුළ රැඳී සිටින අතරම එම රැඳී සිටීමට අදාළ කඳවුරු සහ එම රැඳී සිටින කාලය තුළ භූමිය, සන්නිවේදන පහසුකම් ආදී ඉරාකයේ සම්පත් භාවිත කිරීමට ලබා දී ඇති අවසරයයි.

“මෙවැනි තත්ත්වයක් තුළ සෝෆා ගිවිසුම අත්සන් කරන ලද සෑම රටක්ම මෙම අභියෝගයට මුහුණ දී ඇති අතර, එක්සත් ජනපදය විසින් බලහත්කාරී ලෙස හා රටවල්වල ස්වෛරීත්වය නොසලකා සිදු කරන කටයුතුවලින් මේ බව ඉතා හොඳින් පැහැදිලි වේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පසු ඉරාක පාර්ලිමේන්තුව ඇමෙරිකානු හමුදා රටින් නෙරපීමට තීන්දුවක් ගනු ලැබුව ද, එක්සත් ජනපදය එම තීන්දුව පිළිගැනීමට සූදානම් නැත. ඒ වෙනුවට ඔවුන් ඉරාකයට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජනය කර තිබෙන බැවින්, මෙම සෝෆා ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු ඒවායින් ඉවත් වීම පහසු නොවන බව ඉතා පැහැදිලි කරුණක් බවට පත්ව තිබේ.

“මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින මෙම යුදමය තත්ත්වය තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ද මෙම යුද්ධයේ පාර්ශ්වකරුවකු කර ගැනීමට පැහැදිලි ඉඩක් ඇති බැවින්, එවැනි තත්ත්වයක් ඇති වීමට පෙරාතුවම එය වැළැක්විය යුතුව ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995දී අත්සන් කරන ලද සෝෆා ගිවිසුමත්, ඔබතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටිය දී, 2007දී අත්සන් කළ සහ 2017දී එ.ජා.ප. ආණ්ඩුව දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙසත්, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසත් අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එවැනි යෝජනාවක දී ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඒ වෙනුවෙන් ඡන්දය පළ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් කළ හැකි සියලු‍ මැදිහත් වීම් සිදුකිරීමට සූදානම් බවත් මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අද වැනි දිනක සිදුවීම් - ජනවාරි 13

Mon Jan 13 , 2020
1893 – රැජින බයොනෙට් ව්‍යවස්ථාව අවලංගු කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපද මැරීන් භටයින් යූඑස්එස් බොස්ටන් සිට හවායි හි හොනොලුලු වෙත ගොඩ බැස්සේය. 1895 – පළමු ඉතාලෝ-ඉතියෝපියානු යුද්ධය: යුද්ධයේ ආරම්භක සටන වන කෝටිට් සටන සිදුවිය; එය ඉතාලි ජයග්‍රහණයක්. 1898 – එමිල් සොලාගේ ජේකස්…! ඩ්‍රයිෆස් සම්බන්ධය හෙළි කරයි. 1908 – පෙන්සිල්වේනියාවේ බෝයර්ටවුන් […]