පළමුවන පරාක්‍රමබාහු රජ

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. “අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.

පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය. දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.

මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රමබාහුගේ ඉදිකිරීම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් ස්මාරකයන්ය. පොළොන්නරුවේ මෙන්ම බටහිර සහ ගිනිකොණ දිග ලංකාවේද ඔහුගේ ඉදිකිරීම්වල ඉතිරි වු කොටස් අද දක්වාම පවතී. පරාක්‍රමබාහුගේ ප්‍රධාන කාර්යයක් වුයේ පුරාණ රජවරුන්ගේ අගනගරය වී පැවති, චෝල ආක්‍රමණිකයන්ගෙන් විනාශයට පත් වූද අනුරාධපුරය සහ ඒ වන විට කැලෑවට යටවී තිබුණු ථුපාරාමය මිහින්තලේ සහ රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඉන්පසු පරාක්‍රම පුර නම් පාලන මධ්‍යස්ථානයක් පිහිට වු ඔහු අනතුරුව පොළොන්නරුව දෙසට අවධානය යොමු කළේය. හදිසියේම ආක්‍රමණික පිරිස් විසින් අවුරුද්දකට ආසන්න කාලයක් නගරය වැටලීම හේතුවෙන් නගරවාසින්ට බොහෝ පිඩා ඇතිවුණු අතර නගරයේ පැවැත්ම නමට පමණක් සිමාවිය. 12 වැනි සියවසට පෙර පොළොන්නරුවෙන් සුළු නටබුන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව තිබීමේ හේතුව සමහර විට එය විය හැකියි.

රජු ආරම්භයේදීම නගරය දිස්ත්‍රික් හතරකට නැතහොත් උපනගර හතරකට බෙදුවේය. ඒ හැම එකකටම එයට විශේෂ වු (භික්ෂුන් උදෙසා) දාන ශාලාවක් විය. ඒවා තඹ භාජන, කොට්ට, මෙට්ට, පැදුරු, බුමුතුරුණු සහ සයනයන්ගෙන්ද යුක්ත විය. ඔහු ආරෝග්‍ය ශාලා තැනීමටද නියම කළේය. ඒවා බැලීමට කීප වතාවක්ම ගියේය. ඔහු පොළොන්නරුව වටා අලංකාර පවුරු තුනක සංකිර්ණයක් තැනු අතර, අටලු, ආරුක්කුද යොදමින් එය විශාල කළේය. මේවායි නටබුන් අද දක්නට නැත. නගර සීමාවට එපිටින් පරාක්‍රම පුර , රාජවේසි බුජංග, රාජ කුලන්තක (සිංහ පුර) සහ විජිත පුර නමැති සුළු නගර වලට අමතරව තවත් සුළු නගර තුනක් පැනවු බව විශ්වාස කෙරේ. පොකුණු, ස්නානය සදහා ජලාශ වලින්ද යුක්තව පොළොන්නරුව වටා උද්‍යාන නිර්මාණය කළේය. එයින් එකක් වු කුට්ටම් පොකුණ අදද දක්නට ඇත. ‘දූපත් උයන’ නමින් හැදින්වෙන එක් උද්‍යානයක් තෝපා වැව මධ්‍යයේ උස් දූපතක පිහිටියේය.

පොළොන්නරුව අසල ඇති ගල් විහාරය තවමත් සුරැකිව තිබේ. චුල වංශයේ සදහන් වන අන්දමට මෙම විහාරය ඉදිකිරීමේ ගෞරවය පරාක්‍රමබාහු රජුට හිමි වේ. එහෙත් සත්‍ය නම් ඔහු විසින් කරන්නට ඇත්තේ එය අලංකාර ලෙස පිළිසකර කිරීම පමණි. 1157 දී වටදා ගෙය ඉදි කරන ලද්දේ සුගලා රැජින විසින් දියත් කරන ලද රුහුණේ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුවයි. ඊට ආසන්න කාලයේදී සොයාගත් දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව තැන්පත් කිරීම පිණිස මෙම වටදා ගෙය සාදවන ලදී. ලංකා තිලක විහාරය, ආලාහන පිරිවෙන, ජේතවනාරාමය, සහ දෙමළ මහා සෑය ද ගොඩ නංවන ලද්දේ ඔහුගේ පාලන කාලයේ දීය. පොළොන්නරුවේ නගර මධ්‍යයේ පරාක්‍රම බාහු රජමාළිගය ඉදිකළේය. එහි කොටසක් පමණක් අදටත් ඉතිරිව තිබේ. එහි ඉහළට එසවුණු බිත්ති කොටස්වලින් අපට පෙන්වා දෙන්නේ රජුගේ පුළුල් දර්ශනය පිළිබඳව ඉඟියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ජල චක්‍රය

Fri Jan 3 , 2020
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. […]