න්‍යෂ්ටික විකිරණ යනු කුමක්ද?

විකිරණය කීවහම ඒ වචනයේ තේරුම දන්න කෙනෙක් නම් ටිකක් අනිවාර්යෙන්ම භය වෙන ස්වභාවයක් නිතැතින්ම තියෙනවා…මොකද ඇත්තටම විකිරණය කියන්නෙ එතරම්ම හොඳ දෙයක් නොවන නිසා…හැබැයි ඉතින් විකිරණය අපිට නැතුවත් බැහැ…හරි ඉතින් ඇත්තටම මේ විකිරණය කියන්නෙ මොකක්ද!

විකිරණය කියලා අපි සාමාන්‍යයෙන් දන්න සංසිද්ධිය ප්‍රථම වරට සොයාගත්තේ වර්ෂ 1896 දී හෙන් රි බෙකරල් විසින්.සැකෙවින්ම කීවොතින් විකිරණය කියන්නේ යම් කිසි වස්තුවකින් ශක්තිය මුදා හැරීම.ඇත්තටම විකිරණ කියලා ගත්තම විකිරණ වර්ග කිහිපයක්ම තියෙනවා.එකක් තමයි විද්‍යුත් චුම්භක විකිරණය.විද්‍යුත් චුම්භක විකිරණයට අධෝ රක්ත කිරණ, පාරජම්බුල කිරණ, රේඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග, එක්ස් කිරණ සහ ගැමා කිරණ වගේ කිරණ වර්ග අයත් වෙනවා. ඒවගේම තියෙන අනිත් විකිරණ වර්ගය තමයි න්‍යෂ්ටික විකිරණය.ගොඩාක් වෙලාවට විකිරණය කියලා ගත්තහම අපි සලකන්නෙ විද්‍යුත් චුම්භක විකිරණයට වඩා මේ න්‍යෂ්ටික විකිරණය.

න්‍යෂ්ටික විකිරණයේදි වෙන්නෙ පරමාණු වල න්‍යෂ්ටී වලින් උප පරමාණුක අංශූ ඉවත් වීම කියලා අපිට සැකෙවින් දක්වන්න පුලුවන්.ඒවගේම තවත් දෙයක් කියන්න ඕන.මේ න්‍යෂ්ටික විකිරණයම තවත් වෙලාවකදී හඳුවන්වනවා අයනීකරණ විකිරණය කියලත්.මොකද මේ න්‍යෂ්ටික විකිරණය සතුව තියෙන ශක්තියට පුලුවන් පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ඒ පරමාණුවෙන් ගලවා ඉවත් කරන්න.ඒ කීවේ අයනීකරණය කරන්න.ඇත්තටම න්‍යෂ්ටික විකිරණයෙත් වර්ග කිහිපයක්ම තියෙනවා.ප්‍රධාන වශයෙන් මේවා වර්ග හතරයි.ඒවා තමයි ඇල්ෆා විකිරණය, බීටා විකිරණය, ගැමා විකිරණය සහ නියුට්‍රෝන විකිරණය.

මේ විකිරණ වර්ග හතරට තියෙන්නෙ එකිනෙකට වෙනස් වූ ගුණයන්.ඇල්ෆා විකිරණය කියලා අපි හඳුවන්න්නේ පරමාණුවක න්‍යෂ්ටියකින් ඇල්ෆා අණුවක් පිටතට මුදා හැරීමකට.ඇල්ෆා අණුවකට අයත් වෙන්නෙ ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක්.අපි මුලදීම කීවනේ න්‍යෂ්ටික විකිරණය කියන්නේ පරමාණුවල න්‍යෂ්ටී වලින් උප පරමාණුක අංශූ මුදා හැරීම කියලා.පොඩ්ඩක් රසායන විද්‍යාව මතක කෙනෙකුට මෙතනදී මතක් වේවී හිලීයම් පරමාණුවකත් තියෙන්නෙ ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් බව.ඒ නිසාම අපිට කියන්න පුලුවන් විකිරණශීලී පරමාණුවක න්‍යෂ්ටියකින් හීලීයම් න්‍යෂ්ටියක් ( ඉලෙක්ට්‍රෝන රහිතව ) මුක්ත වීම ඇල්ෆා විකිරණය කියලා.

බීටා විකිරණය කියලා හඳුවන්නේ පරමාණුවක න්‍යෂ්ටියක් මඟින් ඉලෙක්ට්‍රෝනයක් පිටතට මුදා හැරීම.ඔයාල අනිවාර්‍යෙන්ම දන්න කාරණයක් තමයි පරමාණුවක න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝන නැහැයි කියන එක.එහෙනම් බීටා විකිරණයේදී පරමාණුවේ න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නෙ කොහොමද…මෙතනදී වෙන්නෙ පරමාණුවේ න්‍යෂ්ටිය තුල සිද්ධ වෙන යම් යම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිපදවෙන ඉලෙක්ට්‍රෝන අංශූවක් මුදා හැරීමක් පමණයි.තවත් දෙයක් කියන්න ඕන මෙතනදී පරමාණුවේ න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වීම වෙනුවට ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති පදාර්ථමය අංශුව වෙන පොසිට්‍රෝනයක් නිදහස් වීමේ හැකියාවත් තියෙනවා.ඒ සංසිද්ධිය හඳුන්වන්නෙත් බීටා විකිරණය කියලම තමයි.

ගැමා විකිරණය කියලා හඳුවන්නේ පරමාණුවක න්‍යෂ්ටියකින් අධි ශක්තී ෆෝටෝනයක් මුක්ත වීම.මෙතනදී මුක්ත වෙන ෆෝටෝනය සතුව තියෙන ශක්තිය විශාල නිසා ගැමා විකිරණ මඟින් අවට ඇති වස්තූ වලට හානි ඇති කිරීමේ හැකියාව තියෙනවා. එක්ස් කිරණ කියන්නෙත් ගැමා විකිරණ වලට ගොඩාක් සමාන දෙයක් වුණත් එක්ස් කිරණ සතුව සාපේක්ෂව ඉතාමත් අඩු ශක්තියක් තමයි තියෙන්නෙ.එක්ස් කිරණ සහ ගැමා කිරණ අතර තියෙන තවත් වෙනස්කමක් තමයි එක්ස් කිරණ ඇති වෙන්නේ පරමාණුවක ඉලෙක්ට්‍රෝන වලාව ආශ්‍රිත කරගෙන වීම.ඉලෙක්ට්‍රෝන වලාවේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් අධි ශක්ති මට්ටමක ඉඳල අඩු ශක්ති මට්ටමකට සංක්‍රමණය වෙනකොට මේ විදිගේ එක්ස් කිරණ විමෝචනය කිරීමක් සිද්ධ වෙනවා.සරලවම කීවොතින් ගැමා කිරණ නිර්මාණය වෙන්නෙ පරමාණුවේ න්‍යෂ්ටිය ආශ්‍රිතව වෙනකොට එක්ස් කිරණ නිර්මාණය වෙන්නෙ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලාව ආශ්‍රිතව.

ඊලඟට තියෙන්නෙ නියුට්‍රෝන විකිරණය.නමින්ම කියනවා වගේ මෙතනදී වෙන්නෙ පරමාණුවක න්‍යෂ්ටියකින් නියුට්‍රෝනයක් පිටතට මුදා හැරීම.මේ විදිහට නියුට්‍රෝන මුදා හැරීමක් න්‍යෂ්ටික විඛණ්ඩනයේදී තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නෙ.ඒවගේම මේ වර්ගයේ විකිරණයට කෙලින්ම හැකියාවක් නැහැ වෙනත් පරමාණු අයනීකරණය කරන්න.ඒකට හේතුව නියුට්‍රෝනයක් සතුව ආරෝපණයක් රහිත වීම.හැබැයි වක්‍රාකාරව නියුට්‍රෝන විකිරණයට පුලුවන් වෙනත් පරමාණුවක් අයනීකරණය කරන්න.ඒක වෙන්නෙ මේවගේ නිදහස් වුණ නියුට්‍රෝනයක් වෙනත් පරමාණුවක න්‍යෂ්ටියක් මඟින් අවශෝෂණය කරගත්තහම ඒ පරමාණුව න්‍යෂ්ටික විකිරණය ඉහත සඳහන් කරපු වෙනත් න්‍යෂ්ටික විකිරණ ආකාර වලින් ශක්තිය පිට කිරීම මඟින්.මේ වර්ගයේ විකිරණය භායනකම වර්ගය වෙන්න හේතුව තමයි නියුට්‍රෝන විකිරණයට විතරයි පුලුවන් වෙනත් පරමාණුවක් විකිරණශීලී පරමාණුවක් බවට පත් කරන්න.

ඇල්ෆා විකිරණ වල අඩංගූ වෙන්නෙ ඉතාමත් සෙමින් ගමන් කරන බරින් වැඩි සහ ගොඩාක් විද්‍යුත් ආරෝපණයක් සහිත අංශූ.මේ කාරණය නිසාම ඇල්ෆා විකිරණ වල විනිවිදයාමේ හැකියාව ඉතාමත් අවමයි.ඒ කියන්නෙ අපිට තුනී කඩදාසියකින් වුණත් පුලුවන් ඇල්ෆා විකිරණ වල ගමන් මඟ අවහිර කරලා ඒවා ගමන් කිරීම නවත්වන්න.බීටා විකිරණවල අන්තර්ගත වෙන්නෙ වේගයෙන් ගමන් කරන, ආරෝපණ සහිත සැහැල්ලූ අංශූ.ඒ කියන්නේ බීටා විකිරණ වල විනිවිදයාමේ හැකියාව ඇල්ෆා විකිරණ වලට වඩා සාපේක්ෂව වැඩියි.ඒ නිසා බීටා විකිරණ වල ගමන් මඟ නැවැත්වීමට නම් සාපේක්ෂව තරමක් ඝනකම ඇති බාධකයක් භාවිතා කරන්න වෙනවා.ගැමා විකිරණ කියන්නේ ආරෝපණයක් රහිත වේගයෙන් ගමන් කරන අංශූ.ඒ නිසා මේවායේ විනිවිදයාමේ හැකියාව ඉහලයි.මොකද මේවාට ආරෝපණයක් නැති නිසා වෙනත් වස්තූ සමඟ අන්තර්ක්‍රියා කිරීමක් විද්‍යුත් වශයෙන් සිද්ධ වෙන්නෙ නැහැ.ගැමා විකිරණ නවත්වන්න නම් අපිට ටිකක් ඝනකම ඇති ඊයම් වගේ ලෝහ කුට්ටියක් ඕන වෙනවා.

නියුට්‍රෝන විකිරණ කියන්නෙ ඉතාමත් බරින් වැඩි ආරෝපණයක් රහිත අංශූ.මේ නිසාම ඒවාට ඉතා වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා වෙනත් වස්තූන් සමඟ අන්තර්ක්‍රියා නොකොට.ඒ නිසාම මේවා ගමන් කිරීම නවතා ගැනීම ටිකක් අමාරුයි.ඒකට භාවිතා කරන්නේ ජලය වැනි හයිඩ්‍රජන් අන්තර්ගත ද්‍රව්‍යයක්.

==========================================================

Shavindu Avishka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කෘතිම වකුගඩුවක් නිර්මානය කරයි

Fri Jan 10 , 2020
එක්සත් ජනපදයේ වකුගඩු බද්ධ කිරීමක් සඳහා 100,000 කට අධික පිරිසක් බලා සිටින අතර සෑම මිනිත්තු දහහතරකට වරක් අලුතෙන් පුද්ගලයෙ ලැයිස්තුවට ඇතුලත්. වකුගඩුවක් සඳහා සාමාන්‍ය රැඳී සිටීමේ කාලය අවුරුදු තුනත් පහත් අතරවේ.මේ නිසා දිනපතා පුද්ගලයන් දහතුන් දෙනෙක් මිය යති.මේ බරපතල තත්වය විද්‍යාඥයන් ලෝකයේ පළමු කෘතිම වකුගඩු නිර්මාණය කිරීමත විසඳී ඇත.මෙය ගොඩක් […]