ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයෝ

රාජකාරී වැඩක් නිසා ඊයේ දවසෙන් වැඩි හරියක් ගෙවන්න උනේ ඩෙල්ෆ්ට් දූපතේ. දූපතේ විල්ලු පුරාම වතුර පිරිලා තියෙනවා දැක්කා. ඇහැට පේන දුරට විහිදුන කොළ පාට තණ තිල්ලෙන් දූපතේ හිරිගල් පොළව වැහිලා. පහුගිය වැහි කාලෙ දූපතට හොඳට සළකලා තිබුණා.

මාස 6කට සැරයක් මේ ගමන යනවා උනත්, මීට කළින් මේ විදියට සශ්‍රීකව ඩෙල්ෆ්ට් දූපත දකින්න ලැබුණෙ අවුරුදු 03කට විතර කළින්. අනිත් හැම වතාවක ම ඩෙල්ෆ්ට් දූපත පෙණුනෙ වෙනස්ම විදියකට.

පායන කාලෙ ආවම දූපත තමන්ගේ පුරුදු සුදු පාට හිරිගල් අව්වට කර වෙන්නම තණකොළ ටික වේලෙන්න දෙනවා. අපි ආපහු එන්නෙ සියුම් හුණු ගල් දූවිල්ලෙන් ඉහේ ඉඳලා පාදාන්තෙට යනකම් සුදු පාට වෙලා. ඒ තරම් ශුෂ්ක පරිසරයක් මම නම් ලංකාවෙ වෙන තැනක දැකලා නෑ.

අවසාදිත හිරිගල් සහ කොරල් වලින් හැදුණු දූපතේ වතුර වැඩිපුර ඇතැයි හිතන්න අමාරුයි. මිනිස්සු ජීවිතේ රැකගන්නෙ නාවුක හමුදාවෙන් යොදවලා තියෙන ජල පෙරහන් වල පිහිටෙන්. එහෙම නැති උනා නම් ඒ තියෙන කිවුලෙ හැටියට මිනිස්සු දූපතෙන් වඳ වෙලා ගිහිල්ලා සෑහෙන කාලයක් වෙන්න තිබුණා.

කොහොමහරි, දූපතේ මිනිස්සු ඇරුනම ඉන්න විශේෂිත පිරිස වෙන්නෙ අස්සයො. ඊයේ නම් ඒ අය 20-30 රංචු විදියට තණ ගොමු වල උලා කමින් හිටියා. ඒත් පායන කාලෙට මේක මීට වඩා දුක්බර දර්ශනයක්. අනිත් අතට ගත්තම, ඒ කාලෙට මේ අස්සයො නිසා මිනිස්සු අමාරුවෙන් හදන හරක් රංචු වල කෑම වලට තව තරඟයක් එකතු වෙනවා. පායන කාලෙට වතුර හිඟය නිසා දවසට හරක් 5-6ක් මැරෙන බව අපි ගිය නාවුක හමුදා කඳවුරේ නිලධාරී මහත්මයා කිව්වා.

කොහොම හරි. පායන කාලෙ අපි යනකොට නිතරම පොඩි බවුසර් දකින්න ලැබෙනවා. අර දුෂ්කර පාරවල් වල එහෙ මෙහෙ යමින්, තණබිම් වල තැන තැන තියෙන, සිමෙන්තියෙන් තැනූ ලොකු පොකුණු වලට වතුර පුරවන එක ඒවායේ රාජකාරිය. ඒක එළවගෙන යන අව්වට කළු ගැහිච්ච පුංචි මනුස්සයා අපිට හැමදාම වගේ හිනාවෙනවා. ඒ වතුර ගෙනියන්නෙ අර සත්තුන්‍ට. අස්සයන්ට සහ හරකුන් කියන දෙගොල්ලන්ටම. හරක් කොහොම උනත්, අස්සයන් ගෙන් මේ මිනිස්සුන්ට විශේෂ ප්‍රයෝජනයකුත් නෑ. එහෙම වෙලත්, අස්සයන්ගේ ජීවිත වලට අගයක් තියෙනවා.

ඔස්ට්‍රේලියාව බොහොම දියුණු රටක්. ගොඩක් ධනවත් රටක්. ඩෙල්ෆ්ට් වගේ නෙමෙයි. ඒත් වියළි කාලය දුෂ්කරයි. ඉතිං ඒ රටේ මිනිස්සු වතුර බේරගන්න ඔටුවන් මරන්න තීරණය කරලා, මරලා දාලත් ඉවරයි. ඒ ගැන හැමෝම දන්න නිසා විස්තර කියන්නෙ නෑ. වෙන විකල්ප ඇත්තෙම නැද්ද කියන ප්‍රශ්නය වැඩක් නැති ප්‍රශ්නයක්. විකල්ප වල වැදගත්කම ඒ සත්තුන්ගෙ ජීවිත වල වැදගත්කමට සමානුපාතිකයි.

කොහොමහරි මට නිකමට හිතුණ දේ තමයි ඕස්ට්‍රේලියාවේ ඔටුවෙක් වෙනවට වඩා ඩෙල්ෆ්ට් වල අස්සයෙක් වෙන එක වටිනවා නේද කියන එක. අනිත් අතට ඒක විද්‍යාත්මක හෝ තාර්කික තීරණයක් ය කියලා හිතුවමත්, එහෙනං එ ඔටුවන්ට වෙඩි තියලා ආඩම්බරෙන් හිනා වෙලා, මළකුණත් එක්ක පොටෝ එකක් ගන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලාත් හිතෙන්න ගන්නවා.

ඒ සුදු මහත්තැන්ලා අපිට වඩා දියුණු නිසා වෙන්ඩත් ඇති. තව ටිකක් කල්පනා කරාම, අවුරුදු දෙසීයකට කළින් ස්වදේශික ඇබොරිජීන් වරු වතුර බිව්ව ගඟට ම වස කළවං කරලා ඒ මිනිස්සු යටපත් කරලා දාපු ඈයන්ගෙන් ඔටුවො බේරෙයි කියලා හිතන එකත් මන්නාරමේ බූරුවෙක් හිතන මට්ටමට වත් ළඟ නැතුව ඇති කියලත් හිතෙන්න ගන්නවා.

සමහරවිට. . ඩෙල්ෆ්ට් වල ඉන්න අර වතුර බවුසරේ එළවන මනුස්සයා ඕස්ට්‍රේලියානුවෙක්ට වඩා සැනසීමෙන් නිදාගන්නවා ඇති.

සමහරවිට. . . . . ඩෙල්ෆ්ට් දූපත ඕස්ට්‍රේලියාවට වඩා ලස්සන ඇති. .

——————-
උපුටාගැන්මකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඉරානය යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව පිළිගනී

Sat Jan 11 , 2020
ඉරානය පවසන්නේ බදාදා ටෙහෙරානයෙන් පිටතදී කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයට තමන් අත්වැරැදීමකින් වෙඩි තබා 176 දෙනෙකු මිය ගිය බවයි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිලධාරීන් ඔවුන්ගේ බුද්ධි අංශ විසින් මිසයිලයක් මගින් මෙම යානයට පහර දුන් බව පැවසීමෙන් පසුව ඉරානය මොවුන්ගේ අතින් සිදුවු බවට පිලිගන්න ලදි. තවද අනතුර සිදු වූ රාත්‍රියේ ගත් […]