කොරෝනා ජීවිත බිළිගැනීම අභිමුව ගෝලීය ආර්ථික අවපාතයක් !

කොරෝනා (Corona) නමින් වෛරසයක් චීනයේ පැතිරී යමින් ඇත. එයට ඒ නම ලැබී ඇත්තේ ඉංග්‍රීසි බසේ එන රැස් වළල්ල (Corona) යන තේරුමින් බව වෛද්‍ය සඟරාවකින් දැනගතිමි. මෙයට කිට්ටුවෙන් යන ඉංග්‍රීසි වදන් දෙකක් වන්නේ coronation (මෞලි මංග්‍යය) හා coroner (මරණ පරීක්ෂක) යන වදන්ය. වෛරසය පැත්තෙන් බැලූ විට එහි සීග්‍ර ව්‍යාප්තිය පෙන්වා දෙන්නේ එහි මෞලි මංගල්‍යය හෙවත් කිරුළු පැළැඳවීම දැනටමත් දහස් ගණනකට සිදුවී ඇති බවය. මානවයාගේ පැත්තෙන් බැලූ කල වෛරසය නිසා මියගිය ගණන එනම් මරණ පරීක්ෂණ ගණන දැනට සිය ගණනකි.

සියුම් අන්වීක්ෂයකින් බැලූ විට රැස් වළල්ලක් ලෙස පෙනෙන කොරෝනා වෛරස වර්ග 06 ක් මෙයට පෙර පැවතී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එයින් දෙකක් සතුන්ගෙන් ද (වවුලන්-කුරුල්ලන් හා ඔටුවන්) අනෙක් සතර මිනිස් සිරුරු වලින්ද බෝවී ඇත. නවතම වෛරසය සත්ව වෙළෙඳ සැලකින් පැමිණි බවත් එය සර්පයින්ගෙන් බෝ වන්නට ඇති බවටත් සැක පහළ කර ඇත. එය සත්වැනි කොරෝනා වෛරසයයි.

මම වෛද්‍ය විශේෂඥයෙකු හෝ ජීවවිද්‍යා විශේෂඥයෙකු නොවෙමි. කුඩා කල සිට මට තිබූ ප්‍රශ්නයක් නම් බැක්ටීරියා හා වෛරස් යනු මොනවාද යන්නය. තරමක් වැඩිවියට පත්වූ විට මා දැනගත්තේ සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කළ හැකි නමුත් වෛරස් විනාශ කළ නොහැකි බවය. වෛරස් පරාජය කළ හැක්කේ අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය කෘතිමව හෝ ස්වාභාවිකව ඉහළ නැංවීමෙන් පමණක් බවය. වෛරස් නිසා ඇතිවන රෝග ලක්ෂණ (උණ, වමනය, දියර මලපහ යෑම., වැනි) වලට මිස වෛරසයට ප්‍රතිකාරයක් නැති බවය.

ජීව විද්‍යාඥයින්ගේ අදහස බැක්ටීරියාව යනු ජීවියෙක් බවය. එනම් සෛලයක් සහිත තමන්ටම බෝවිය හැකි ක්‍රියාවලියකි. බැක්ටීරියා පසේ, ජලයේ, වාතයේ මෙන්ම ජීව විශේෂවලද ජීවත්වෙති. ඛණ්ඩනය මඟින් පරම්පරාව බෝ කරති. ඇතැම් බැක්ටීරියා අපට ප්‍රයෝජනවත් වුවද (උදාහරණ ලෙස ඇතැම් දේ දිරායෑම) ඇතැම් බැක්ටීරියා අපට හානිකරය. (ලෙඩ ඇතිකරයි.) බැක්ටීරියා සඳහා විසඳුමක් ලෙස ප්‍රතිජීවක (Antibiotic) භාවිත කෙරේ. කෙසේ වෙතත් බැක්ටීරියානුවන්ද ජීවීන් නිසා ඔවුන් ඇතැම් ප්‍රතිජීවක ඉදිරියේ සිය පැවැත්ම පවත්වා ගන්නේ වෙනස්වීමෙනි (Mutation). ඒ නිසා කලක් යද්දී ඇතැම් ප්‍රතිජීවක වලට ප්‍රති විරෝධයක් සහිත නව බැක්ටීරියාවන් බිහිවේ.

තනි බැක්ටීරියාවක ආයු කාලය කෙටි එකක් වුවද, බැක්ටීරියා පරම්පරා ඇතැම් විට වසර දහස් ගණන් ජීවත්වන බව වාර්තා වේ.
ජීව විද්‍යාඥයින්ට අනුව වෛරසය ජීවයක් නොවේ. මන්ද, එහි සෛලමය ස්වරූපයක් නැති නිසාය. නමුත් එහි ජානමය ස්වරූපයක් ඇත. මේ නිසා වෛරසයට නිරතුරුවම ජීවත්වීම සඳහා අන්‍ය සිරුරක් – සෛලයක් අවශ්‍ය වේ. ඇතැම් වෛරස් සෛලවලට ඇතුලු වී ඒවා දුර්වල කරමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වේ. සිරුරේ ප්‍රතිශක්තිය නැංවීමෙන් හෝ වෛරසයේ ජාන සැකැස්ම පාලනයෙන් පමණක් වෛරස්වල හානිකාරක තත්ත්වය වෙනස්කළ හැක.
වරක් වෛද්‍ය සඟරාවක් පෙන්වාදී තිබුණේ, වෛරසයක් මානව සිරුරට ඇතුලුවීමෙන් පසු මානවයාගේ මරණය දක්වාම එහි වාසය කරන බවයි. ඒ නිසා ඒඩ්ස් වැනි රෝගවලට තුඩු දෙන වෛරසයින් ජීවියා මියයෑම සිය පැවැත්මට තර්ජනයක් ලෙස සලකා ක්‍රමයෙන් සිය ජාන ස්වරූපය වෙනස්කර ගනිමින් දිගටම ජීවත්වීමට උත්සාහ කරනා බවය. එනම් රෝගියා රෝගයෙන් නොමරා හැකිතාක් කාලයක් ජීවත්වීමට උත්සාහ ගන්නා බවය.
මෑත කාලයේ ඒඩ්ස් රෝගයෙන් මියගිය ගණන අඩුවූයේ එන්නත් නිසාද, වෛද්‍ය ප්‍රතිකාර ඉහළ යාම නිසාද, නැතිනම් ඒඩ්ස් වෛරසය තමන් දිගු කාලයක් ජීවත්වීමට ඉටාගත් නිසාද යන්න සොයාබැලීම ජීව විද්‍යාඥයින්ගේ වගකීමයි.

ඇතැම් දාර්ශනිකයන් පවසන්නේ වෛරසය යනු විශ්ලේෂණය මත පදනම්ව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයායන ඇලපති වෛද්‍ය ක්‍රමයට අභියෝගයක් බවය. රෝගය මෙන්ම රෝගියාගේ කායික, මානසික, පාරිසරික තත්ත්වයද රෝග කාරකය විනාශ කිරීම මෙන්ම රෝග කාරකය වැලැක්වීම හා එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමද මූලික කරගත් ආයුර්වේදය, සිංහල වෙදකම යනාදිය මෙහිදී ඇලපති ක්‍රමයට වඩා වෙනස් දාර්ශනික පදනමක් සහිත බවයි. දාර්ශනිකයන් ප්‍රකාශ කරන්නේ විශේෂය හා සමස්තය අතර වෙනස හඳුනාගැනීම මෙහි දාර්ශනික පදනම බවයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය පාලනය කිරීම හා පරාජය කිරීම ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජනතාවගේම වගකීමකි. වානිජ හා වෙනත් සබඳතා පිළිබඳ නොසිතා රෝගකාරක රටවල් හා ප්‍රදේශවලින් පැමිණෙන සංක්‍රමණ වැලැක්වීම හා රෝගීන් හා රෝගීන් විය හැකි අය සෙස්සන්ගෙන් වෙන්කිරීම අත්‍යාවශ්‍යය. එමෙන්ම ජනයා එකට විශාල ලෙස හමුවන අවස්ථා තාවකාලිකව නතර කිරීමද රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍යය. එමෙන්ම චීනය මෙන්ම ලංකාවද මතක තබාගත යුත්තේ මහා පරිමාණයෙන් මස් මාංශ අනුභවය සඳහා සිදුකර ඇති සත්ව ගොවිපොළ හා වෙළෙඳපොළ දැන් මානවයාගේ පැවැත්මට තර්ජනයක් වී ඇති බවය. කුරුලු උණ, සූකර උණ, ඔටු උණ හා නයි උණ පෙන්වා දෙන්නේ ඒ සත්‍යයයි.
අතීතයේ මෙන් නොව එකිනෙකට සම්බන්ධ වූ මානව ජනගහනයක සිරුරෙන් සිරුරට බෝවන රෝග මර්ධනය අතිශය දුෂ්කර බවය. මන්ද, මානවයාගේ ආර්ථිකය හා සමාජය පවතින්නේ ඔවුනගේ එකිනෙකට ඇති සබැඳියාව නිසාය. කොරෝනා වෛරසය හා එය වැලැක්වීමට ගන්නා ප්‍රතිකර්ම මානව ජීවිතවලට මෙන්ම, ආර්ථිකයට හා සමාජයටද ඉතා හානිකර වනු ඇත. මේ නිසා මානවයා සිතිය යුත්තේ සෑම රෝගයකටම ප්‍රතිකාර සෙවීම මෙන්ම, රෝගය වලක්වා ගැනීම සඳහා වූ ආහාර හා ආර්ථික සංස්කෘතිීන් මෙන්ම නාගරික සැළසුම්ද දැන් අත්‍යාවශ්‍ය බවයි. කලකට පෙර සරම්ප, වසූරිය, කෘෂණ රෝගය වැනි රෝගවලින් මහාද්වීපවල ජනයා දශ ලක්ෂ ගණනින් (යුරෝපය, අප්‍රිකාව) මියගිය ආකාරය නැවත සිහිපත් කරගැනීම වටී.

දැනටමත් ලෝකයේ බොහොමයක් රටවල ආර්ථික වර්ධන වේගය සීග්‍රයෙන් අඩුවෙමින් පවතින මොහොතක, මෙම වෛරසයේ බලපෑම හේතුවෙන් මානව සංසරණය අඩුවීමත්, එමගින් ලෝක වෙළඳ සංසරණය අඩුවීමත් යන කාරණා දෙස බැලීමේදී ලෝකයම ගෝලීය ආර්ථික අවපාතයකට යාමටද බොහෝදුරට ඉඩ ඇති බවද කිවයුතුය.

පාඨලී චම්පික රණවක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඔබට කොරෝනාද???

Thu Jan 30 , 2020
මේ දිනවල චීනය පුරා Corona (කොරෝනා) නමින් මාරාන්තික වෛරසයක් පැතිර යයි. මෙම වෛරසය මේ මොහොත වන විටත් යුරෝපය සහ ආසියාතික රටවල් දරුණු ලෙස ඉතා වේගයෙන් ආක්‍රමණය කරමින් පවතී. සාර්ස් වෛරසයටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන මෙය විද්‍යාඥයින් විසින් ලෝක ජනගහනයෙන් කෝටි 06 ක් වත් ආසාදනය කරන බව දැනටම පුරෝකතනය කර තිබේ. […]