ආයාචනය

දුප්… යන්න ජරා බැල්ලි… කොහෙන් ආවද මන්දා…
තොපිත් එන්නෙ අපිටම පවු දෙන්නනෙ….
බඩ ගෙඩියකුත් උස්සගෙන …
ජි…ජී… ඔව් …
මම පාරේ ඉඳලා ඉඳලා කන්න දෙයක් නැති උනාම බඩගිනි වැඩි නිසා තමයි ගෙදරකට ගියේ…
මට ඉවස ගන්න බැරි තරම් බඩගිනියි…
ඉතින් මම කාටද කියන්නෙ ? මට කෑම ටිකක් දෙන්න කියලා …
අනේ එහෙම කියන්න පුළුවන් උනා නම් ?
එහෙනම් අද මට මේ තරම් වේදනාවක් නැහැ…
හොඳ වෙලාවට ඒ ගෙදර හිටපු ගෑනු කනා මට දමලා ගහපු ලීය වැදුනේ මගේ කකුලේ…
අනේ ඒක මගේ බඩේ වැදුනා නම් එහෙම ..
මගේ බන්ඩියේ ඉන්න පැටවු ටිකට අනතුරක් වෙන්න තිබුනා …
අනේ දෙවියනේ එහෙම උනා නම් 😢 😢 මට තේරුනා ඒ ගෙදරින් නම් මට කන්න ලැබෙන්නේ නෑ කියලා … කකුලත් හොඳටම රිදෙනවා …ඒත් මම කොහොමද නවතින්නේ…මට හොඳටම බඩගිනියි…
බඩගෙඩියත් උස්සගෙන හෙමිහිට හෙමිහිට මම පාර දිගේ ආවේ කොහෙන් හරි කෑමක් හොයා ගන්න … එහෙම එනකොට තමයි තුන්මංහන්දියේ ආප්ප කඩේ හම්බුනේ …
අම්මේ…පුදුම සුවඳක්නෙ එන්නේ…
ආප්ප කඩේ මාමා හිටු කියලා ආප්ප පුච්චනවා…ඉන්න බෑ සුවඳ…
එතන තව හිටපු මිනිස්සු වගයක් ඒ ආප්ප උණු උණුවෙම කනවා… මගේ කටින් කෙල වැක්කෙරෙන්න ගත්තා …බඩගින්නයි පෙරේතකමයි දෙකම එකට වෙලා…
මම තව ටිකක් ළඟට ගියා …
ටිකක් වෙලා බලාගෙන හිටියේ කවුරු හරි එක ආප්පයක්වත් දෙයි කියලා … ඒත් මම එච්චර වාසනාවන්ත උනේ නෑ …. ගෙරි බැල්ලි…දුවපිය යන්න…ආව මෙතන කන දිහා බලාගෙන ඉන්න …ජී….ජී…. ආප්ප කඩේ මාමා ගල් ගෙඩියක් අරන් ගහද්දි මම බේරුනේ අනු නවයෙන් …. තව නම් යන්න මට පණත් නෑ …ඒත් බඩට දෙයක් දා ගත්තේ නැති උනොත් මම හාමතේම මැරෙයි… එතකොට මගේ පැටවුන් ටික …. බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ..
මගේ පැටවුන් ට මේ ලෝකෙට එන්න දෙන්න ඕනේ …උන් ජීවත් වෙන්න ඕනේ … මම එහෙම හිත හිත යනකොට ඉස්කෝලයක් දැක්කා…
අනේ එහනදි මාව දැකපු චූටි ළමයෙක් එයාගේ කෑම පෙට්ටියේ තිබිලා මට කන්න දෙයක් දුන්නා … බඩගිනි වැඩි කමට මම ඒක කාගෙන කාගෙන ගියා…
අම්මේ ඉතින් ….කියන්න වචන නැති තරම්… මම කාලා ඉවර උනාම ඒ ළමයා මගේ ඔළුව අත ගෑවා… හරීම සනීපයි…
එහෙම සනීපයක් කවදාවත්ම දැනිලා නෑ …
කිසිම මනුස්සයෙක් මාව අල්ලලා නෑ … ඉතින් මට හරිම සතුටුයි…මට හිතුනා ඉස්කෝලේ ළඟ තියෙන අඹ ගහ යට නතර වෙන්න …ඔව් මම එතන නතර උනා …
ඒ පුංචි ළමයා මට හැමදාම කන්න මොනවාහරි දුන්නා…
ඔහොම සතියක් විතර ගියාට පස්සෙ මගේ පැටවු මේ ලෝකෙට ආවා…මට පැටවුන් හතර දෙනෙක් හිටියා … ඉතින් ඉස්කෝලේට බබාලා අරන් එන අය මට එක එක දේවල් කන්න දුන්නා … සමහර අය මට පවු කියලා කිව්වා …තව අය කිව්වා මගේ පැටවුන් හරීම ලස්සනයි කියලා … ඔව් මගේ පැටවුන් හරිම ලස්සනයි…
ටික දවසක් යනකොට මගේ පැටවුන් ඇස් ඇරියා…
දවසක් මට ඇහුණා ගෑනු කෙනෙක් කියනවා අපිව එයාලගෙ ගෙදර එක්ක යනවා කියලා .. අනේ ඉතින් මට හරි සතුටක් දැනුණා ..මොකද මටයි මගේ පැටවුන්ටයි ඉන්න තැනක් හම්බෙනවනේ…එතකොට කන්නත් ලැබෙනවානේ… ඒත් උනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්…
එදා උදේම ගෑනු කෙනෙක් ඇවිත් මගේ එක පැටියෙක් අරගෙන යන්න ගියා …මම ඒ ගෑනු කෙනා පස්සෙන් ගියත් මට එයාව හොයා ගන්න බැරි උනා…
අනේ මගේ පැටියා ….මගේ පැටියට මාව ඕනේ …ඒකට කිරි ඕනේ … මගේ හිත ගොඩක් වැලපුණා ….පස්සෙ මම ආයෙත් අඹ ගහ යටට ආවේ මගේ අනිත් පැටවුන් තුන් දෙනා බලන්න …
ඒත් ඒ එනකොට තව පිරිමි කෙනෙක් මගේ පැටවුන් දෙන්නෙක් අරන් ගියා…මම ඒ මනුස්ස්සයා පස්සෙ ගියත් ඒ මනුස්සයාත් හොයා ගන්න බැරි උනා … මගේ පපුව පැලෙන්න වගේ …
අනේ මගේ අනිත් පැටියා බේර ගන්න ඕනේ කියලා මම දුවගෙන දුවගෙන අඹ ගහ ළඟට ආවා…. අනේ දෙයියනේ මගේ අනිත් පැටියා පේන්න හිටියේ නෑ ….
මම උඩ බුර බුරා කෑ ගැහුවා ….මගේ දුක කිව්වා….
ඒත් මගේ දුක කාටවත් ඇහුනේ නෑ …. මගේ පැටවුන් ටික සී සීකඩ ගියා…උන්ට හරියට කිරි ටිකක්වත් දී ගන්න මට බැරි උනා …
මම ඒ තරම් අවාසනාවන්ත උනා….
කාටද මම මේ දුක කියන්නේ….
මට කතා කරන්නත් බෑනේ … ඔහොම දුකින් මම ඉන්න කොට අර පොඩි ළමයා මගේ ළඟට ආවා… පැටියෝ….
ඔයාගේ පැටවු අරන් ගියපු අය එයාලට ගොඩක් ආදරෙයි…එයාලව හදා ගන්න අරන් ගියේ ….නැතුව කරදරයක් කරන්න නෙමෙයි ….එයාලා සතුටෙන් ඉදීවි… එහෙම කියලා ඒ පොඩි ළමයා මට පාන් කෑල්ලල් දීලා මගේ ඔළුව අත ගාලා යන්න ගියා … මගේ පැටවුන් කොහේ හරි හොඳින් ඉන්නවා නම් මට ඒ ඇති … ඒත් මගේ පැටවුන් ටික මගෙන් වෙන් උනා කියලා දැනෙන කොට මට දරා ගන්න බැරි දුකක් ආවා…
එයාලා එක්ක මමත් අරන් ගියා නම්…
එහෙනම් කොච්චර හොඳයි ද ? ඒත් මිනිස්සු මට ආදරේ නැහැ …
කමක් නැහැ …මට නැතත් මගේ පැටවුන්ට හරි ආදරෙයිනෙ….
එහෙම කියලා මම හිත හදා ගත්තේ බොහොම අමාරුවෙන් …. මගේ පැටවුන් ටිකයි..මාවයි වෙන් නොකර එකම තැනකට අරන් ගියා නම්…
ඒත් එහෙම කරන අය ඉන්නවා ද ? එහෙම කරන්න බැරි නිසානේ එක එක්කෙනා අරන් ගියේ ….
ඒත් මගේ හිතට දුකයි… මට ආයාචනයක් කරන්න හිතෙනවා …ඒත් ඒ ආයාචනය සාධාරණ නැතුව ඇති …
පුළුවන් ද අපිව වෙන් නොකර ඉන්න ….
එහෙම කරන්න බැහැ නේද ….
කමක් නැහැ …මම තරහා නෑ …
ඔයාලට ගොඩක් පින්…
මගේ පැටවුන් බලා ගන්නවා ට…. ඉන්න තැනක් නැති උනාට කමක් නැහැ …
මාවත් කොහේදි හරි දැක්කොත් මටත් කන්න ටිකක් දෙන්න …
ඔයාලට ගොඩක් පින්…. කඳුලැලි ගලන විට රූරා මගේ
නෙත…
කිරි ටික එරෙනවා දෙන්නට දරුවො
නැත…
සත්තයි රිදෙනවා දින දින මගේ
ගත…
මා කල පවක් ගෙවනවා මා වෙවී
ලත…. මගෙ කුස තුලින් ඉපදුණු මගෙ පැටවු ටික…
අරගෙන ගියා මිනිස්සු මට දීලා
දුක….
දරා ගන්නෙ කොහොමද මම එහෙම
දැක …
පින් සිදු වේවි මගෙ දරුවන් ගන්න
රැක …. අම්මා කෙනෙකි මා ඔබ නොසිතුවත්
එය…
උණු වෙයි දරුවො වෙනුවෙන් මේ මගෙත් ළය…
දරුවන් වෙන් වෙලා මාගෙන් දුරට
ගිය…
මියැදී යාවි ළඟදිම මේ මාගේ
කය… තරහක් නොමැත කිසි දිනයක මගේ
හිතේ
එනමුත් දුකයි අම්මා මම උන්ගේ
පුතේ…
රුධිරය කිරි උනා සත්තයි මාගේ
ගතේ…
ඒ කිරි දෙන්න අද මා ළඟ දරුවො
නැතේ…. ….නිල්මි වික්‍රමසිංහ …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

Chamathka Lakmini

Thu Jan 9 , 2020