අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම, මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ. වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය. වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස, මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ පෙන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. “යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රු.10,000ක් අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28ක සිරදඬුවම්

Fri Jan 10 , 2020
රුපියල් දසදහසක මුදලක් (රු. 10,000) “අල්ලස් ලෙස ලබා ගැනීමේ” චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජනවාරි 9 දින නියෝග කළේය. 2009 වර්ෂයේ සිදුවීමකට අදාළව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා තිබේ. […]